දුම්රිය සේවයේ පවතින පරිපාලනමය, සේවාමය හා විගණන ක්‍රියාවලියට අදාළ ගැටලු රැසකට බලධාරීන් මෙතෙක් නිසි විසඳුම් ලබා දී නොමැති බව පවසමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ඉල්ලීම් සඳහා සාධාරණ කාලසීමාවක් තුළ ප්‍රායෝගික විසඳුම් ලබා නොදුනහොත්, සහෝදර දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ඔවුන් එමඟින් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.
සංගමය මතු කරන ප්‍රධාන ගැටලු අතර, දුම්රිය ස්ථානවල පැමිණීම හා පිටවීම පරීක්ෂා කිරීම විගණන ක්‍රියාවලියක එක් කොටසක් පමණක් වන බව පෙන්වා දීම සහ වසර ගණනාවක් තිස්සේ නිසි විගණනයකට ලක් නොවූ දුම්රිය ස්ථාන පැවතීම කැපී පෙනේ. මීට අමතරව, විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබියදීත් දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක තනතුරු සඳහා පත්වීම් වසර දෙකකට අධික කාලයක් ප්‍රමාදවීම නිසා විනය පරීක්ෂණ ඇතුළු අත්‍යවශ්‍ය පරිපාලන කටයුතු ගොඩගැසී තිබේ. දුම්රිය ස්ථානාධිපති සේවයට සෘජුව බලපාන සේවා ව්‍යවස්ථාව සහ බඳවාගැනීමේ පටිපාටියට අදාළ අන්තර්කාලීන විධිවිධාන තවදුරටත් ප්‍රමාදවීම බරපතළ ගැටලුවක් බවත්, සේවා වාර කප්පාදුව වැනි ක්‍රියාමාර්ගවලදී දුම්රිය ස්ථානාධිපති සේවය පමණක් අසාධාරණ ලෙස ඉලක්ක කිරීම පිළිගත නොහැකි බවත් ඔවුන් අවධාරණය කරති. දිනෙන් දින අඩාල වන දුම්රිය ධාවනය, යටිතල පහසුකම් ගැටලු සහ ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබීම කෙරෙහි ද ඔවුන්ගේ දැඩි අවධානය යොමුවී ඇත.
මෙම ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදී සාකච්ඡා ඉල්ලා සිටියද, මෙතෙක් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරයි. මහජනතාවට විශ්වාසනීය හා කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිපාලන හා සේවාමය තීරණ කඩිනමින් ලබාගැනීම තම එකම අරමුණ වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
















