රුසියානු වෙළඳ නෞකා අත්අඩංගුවට ගැනීමට යුරෝපීය රටවල් කටයුතු කළහොත් ඊට සමාන ප්‍රතිප්‍රහාරයක් ලබා දෙන බව රුසියානු ජනාධිපති ව්‌ලැඩිමීර් පුටින් පවසා තිබේ.
රුසියාවේ ඈත පෙරදිග පැවති නාවික අභ්‍යාසයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, රුසියානු පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරියා ද ප්‍රකාශ කර ඇත්තේ හතුරු රාජ්‍යයන්ට අයත් විදෙස් නෞකා පරීක්ෂා කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට තම බලකාය සූදානම් බවයි. රුසියාවේ සෙවනැලි නෞකා (shadow fleet) මර්දනය කිරීම සඳහා යුරෝපා සංගමය විසින් සම්බාධක තදින් ක්‍රියාත්මක කිරීම සහ නෞකා අත්අඩංගුවට ගැනීමට පියවර ගැනීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
ජාත්‍යන්තර සමුද්‍රීය නීති උල්ලංඝනය කරමින් රුසියානු නෞකාවල ගමනාගමනය සීමා කිරීමට ඇතැම් රටවල් දරන උත්සාහය “මුහුදු කොල්ලකෑමක්” ලෙස හඳුන්වා දී ඇති පුටින්, එවැනි ක්‍රියා ක්‍රියාත්මක වුවහොත් තමන්ට අවශ්‍ය ඕනෑම ජල තීරයකදී ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව අවධාරණය කළේය. මධ්‍යධරණී මුහුදේ යුරෝපා සංගමයේ නාවික මෙහෙයුම් හරහා විදෙස් නෞකා නීතිවිරෝධී ලෙස පරීක්ෂාවට ලක් කරන බවට රුසියානු විදේශ අමාත්‍යාංශයද දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













