ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩලවල දිනුම් ඇදීමේ අංක පදනම් කරගනිමින් පවත්වාගෙන යනු ලබන නීතිවිරෝධී සූදු ක්‍රීඩාවක් හේතුවෙන් සමාජය තුළ බරපතළ ව්‍යසනයක් නිර්මාණය වී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සිරිල් ඇන්තනි පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ. කෝප් (COPE) අනුකමිටුව හමුවට ලොතරැයි මණ්ඩල දෙකෙහි නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම අනාවරණය සිදු කළේය.
මෙම අතිශය විනාශකාරී තත්ත්වය මත්ද්‍රව්‍ය භාවිතයට පමණක් දෙවැනි වන තරමේ බරපතළ එකක් බව පෙන්වා දී ඇති සභාපතිවරයා, වසර 4-5කට පෙර ගම්වල රුපියල් 100 වැනි මුදලකට ආරම්භ වූ ‘කොටු කැපීමේ’ සූදුව මෙලෙස මහා පරිමාණ ජාවාරමක් දක්වා ව්‍යාප්ත වී ඇති බව පැවසීය. ආදායම් අධික ප්‍රදේශවල එක කොටුවක් සඳහා තබන ඔට්ටු මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති අතර, 0 සිට 9 දක්වා වූ සංඛ්‍යා රටාවලින් අංක 2ක් තෝරාගෙන, එදින නිකුත් වන ලොතරැයියේ අවසාන අංක දෙක සඳහා මෙහිදී ඔට්ටු අල්ලනු ලබයි.
ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල විසින් දිනුම් ඇදීම් සිදු කරන්නේ රාත්‍රී 7.30ට පමණ වුවද, මසකට අවශ්‍ය සියලු දිනුම් ඇදීම් එකවර සිදු කර දිනපතා නිකුත් කරන බවට ව්‍යාජ තොරතුරු ජනතාව අතර පතුරා, WhatsApp සමූහ හරහා සංවිධානාත්මකව මෙම මුදල් වංචා සිදු කරන බවද හෙළිව තිබේ. මනම්පිටිය සහ රත්නපුර වැනි ප්‍රදේශවල මෙම සූදුව ඉතා බරපතළ ලෙස ව්‍යාප්ත වී ඇති අතර, සැමියන් මෙම සූදුවට ඇබ්බැහි වීම නිසා පීඩාවට පත් කාන්තාවන්ගෙන් නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බවත්, බොහෝ පිරිසකට තම දේපොළ අහිමි වී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













