ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ආපදා පෙර සූදානම සහ හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කළ ‘The Resilience Lab, ආපදා අවස්ථාවන් වලදී දේශීය තරුණ ක්‍රියාකාරීත්වය’ ජාතික වැඩසටහන මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජාතික තරුණ සේවා සභාව (NYSC) ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙවර ජාත්‍යන්තර තරුණ දින තේමාව වන ‘විවිධ සන්දර්භයන්, පොදු අපේක්ෂාවන්’ (Different Contexts, Shared Aspirations) යටතේ පැවැති මෙම වැඩසටහන සඳහා දිවයින පුරා පිහිටි යොවුන් සමාජ ජාලය නියෝජනය කරමින් තරුණ තරුණියන් 100 දෙනෙකුට අධික පිරිසක් එක්ව සිටියහ.
ආපදාවකින් පසු සිදුකරන සහන සේවාවලට පමණක් සීමා නොවී, පූර්ව ආපදා අවදානම් කළමනාකරණය, පූර්ව අනතුරු ඇඟවීම් සන්නිවේදනය සහ ප්‍රජාවන්ට ආපදා අවස්ථාවලට පෙර සූදානමකින් යුතුව මුහුණ දීම සඳහා තරුණ දායකත්වය ලබාගැනීමත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ කුසලතා වර්ධනය කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ විය. ජනගහනයෙන් මිලියන 2.2 කට බලපෑම් කරමින්, 600 කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් සහ නිවාස 115,000 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ ‘දිට්වා’ සුළි කුණාටුව වැනි පසුගිය ආපදා අත්දැකීම් පාදක කරගනිමින්, මෙහිදී ප්‍රායෝගික අභ්‍යාස (tabletop simulations) පැවැත්විණි.
ගංවතුර, නායයෑම් සහ ඩෙංගු වසංගත තත්ත්වයන් අනුකරණය කරමින් පැවැති මෙම අභ්‍යාස මගින්, ගැබිණි මව්වරුන්, ආබාධිත තැනැත්තන් සහ වයෝවෘද්ධ පිරිස් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි පාර්ශ්ව වෙත පූර්ව අනතුරු ඇඟවීම් ලබාදීම සහ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා අයිතිවාසිකම් (SRHR) මෙන්ම ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ආපදා ප්‍රතිචාරයන්ට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් තරුණ පිරිසට විශේෂ පුහුණුවක් ලබා දී තිබේ. මෙම වැඩසටහන සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRC) සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPASL) තාක්ෂණික සහයෝගය ලබා දෙන ලදී.














