ශ්‍රී ලංකාවේ උසාවිවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ නංවමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට යෝජනා කර ඇති සංශෝධනය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් (Margaret Satterthwaite) විසින් ශ්‍රී ලංකා රජය වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
වත්මන් ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් වන අතර, යෝජිත ක්‍රමවේදය යටතේ එය පිළිවෙළින් 67 සහ 65 දක්වා ඉහළ නැංවීමට නියමිතයි. මෙම යෝජිත සංශෝධනය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ඇතුළත් කරුණු හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ යුක්ති සහගත නඩු විභාගයකට ඇති අයිතියට බරපතල බලපෑම් එල්ල විය හැකි බව විශේෂ වාර්තාකාරිනිය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මෙම යෝජිත වෙනස්කම් අනාගතයට පමණක් නොව, දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ සේවා කාලයටද එකවර බලපාන ආකාරයට සකස් කර තිබීම ගැටලුකාරී තත්ත්වයක් බව ඇය අවධාරණය කර ඇත. නිසි උපදේශන ක්‍රියාවලියකින් තොරව සහ බාහිර බලපෑම්වලින් තොරව ගෙන එන මෙවැනි සංශෝධන මඟින් අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය පළුදු විය හැකි බැවින්, ඊට පාදක වන හේතු සහ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ සිදු කර ඇති සාකච්ඡා පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ඇය රජයෙන් ඉල්ලා තිබේ.
















