රුසියානු බොරතෙල් බැරල් 800,000ක් රැගෙන ගමන් කරමින් තිබී අනතුරට ලක් වූ “කැරොලයින් බෙසෙන්ගි” (Caroline Bezengi) නමැති සම්බාධකවලට ලක් වූ තෙල්නැවෙන් කාන්දු වූ විශාල තෙල් පටලයක් ඔමාන වෙරළ තීරයට ළඟා වෙමින් පවතින බව එරට පරිසර ඒජන්සිය බදාදා තහවුරු කළේය.
මෙය මෑත ඉතිහාසයේ සිදු වූ බරපතළම පාරිසරික ව්‍යසනයක් බවට පත්වීමේ අවදානමක් පවතින අතර, කිලෝමීටර 40ක පමණ වෙරළ තීරයකට සහ මසිරා (Masirah) දූපතට මෙයින් බලපෑම් එල්ල විය හැකි බව සඳහන් වේ. චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කර ඇති විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම තෙල් පටලය වර්ග කිලෝමීටර 2,000කට අධික ප්‍රදේශයක පැතිරී ඇති බවයි. අරාබි මුහුදේ හම්ප්බැක් තල්මසුන් ඇතුළු වනජීවීන් වාසය කරන ඔමාන සමුද්‍රීය ස්වභාවික රක්ෂිතයක් ආසන්නයේ මෙම නැව ගොඩගැසී තෙල් කාන්දු වීම සිදුවෙමින් පවතී.
රුසියාවේ සිට ඉන්දියාව බලා ගමන් කරමින් තිබූ මෙම නෞකාව ඉකුත් ජුනි 30 වන දින යේමනය අසලදී අනතුරට ලක් වූ අතර, යුදමය තත්ත්වයන් සහ සම්බාධක නීති හේතුවෙන් මෙහි පවිත්‍ර කිරීමේ කටයුතු සංකීර්ණ වී තිබේ. මෙම සිදුවීම “යුද ක්‍රියාවක්” (act of war) ලෙස සලකනු ලබන බැවින් ජාත්‍යන්තර තෙල් කාන්දු වන්දි අරමුදල් (IOPC Funds) මඟින් පිරිසිදු කිරීමේ වියදම් ආවරණය නොකරන බව ප්‍රකාශ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














