බංග්ලාදේශයේ හිටපු අගමැතිිනී ෂෙයික් හසීනා නැවත සිය රටට පැමිණෙන්නේ නම් ඇයට සම්පූර්ණ ආරක්ෂාව සපයන බවත්, නීතිමය හා ව්‍යවස්ථාමය අයිතිවාසිකම් සහිතව ඇයට එරෙහි නඩුවලට මුහුණ දීමට අවස්ථාව ලබා දෙන බවත් බංග්ලාදේශ අගමැති තාරික් රහ්මාන්ගේ සන්නිවේදන උපදේශක සාහිඩ් උර් රහ්මාන් ප්‍රකාශ කර තිබේ.
එසේ වුවත් අධිකරණය මඟින් ලබා දෙන ඕනෑම තීන්දුවක් සියලු දෙනා පිළිගත යුතු බව අවධාරණය කර ඇති ඔහු, අනාගතයේදී බංග්ලාදේශය තුළ කිසිදු ෆැසිස්ට් පාලනයකට ඉඩ නොතබන බවද පවසා ඇත. එළැඹෙන දෙසැම්බර් මාසයේදී නැවත බංග්ලාදේශයට පැමිණීමට බලාපොරොත්තු වන බව හිටපු අගමැතිනිය නවදිල්ලි නුවර මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම ප්‍රතිචාරය ලැබී තිබේ. කෙසේ වෙතත්, ඇය නැවත රටට පිටුවහල් කරන ලෙස බංග්ලාදේශ රජය විසින් ඉන්දීය රජයෙන් නිල වශයෙන් ඉල්ලා ඇති අතර, ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයන් පරීක්ෂා කරමින් සිටින බවයි.
2024 අගෝස්තු මාසයේදී ඇති වූ දැවැන්ත ජනතා නැගී සිටීම හමුවේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ඉන්දියාවට පලා ගිය ෂෙයික් හසීනාට එරෙහිව අරගල සමයේ සිදු වූ මානව හිමිකම් කඩකිරීම් හා ඝාතන සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබිණි. හසීනාගේ රජය බිඳ වැටීමෙන් පසු පැවති මැතිවරණයෙන් තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) මේ වන විට බලයට පත්ව ඇත.














