රටේ පවතින දේශපාලන වාතාවරණය සහ නව සන්ධානයක් බිහිවීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
වත්මන් විපක්ෂය බංකොලොත් වී කැබලිවලට කැඩී ඇති බැවින්, ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙමින් සහ රටට සවිමත් කණ්ඩායමක් අවශ්‍ය නිසා තමන් ‘ඒකාබද්ධ විපක්ෂයක්’ පිහිටුවීමට ඉදිරිපත් වූ බව ඔහු පෙන්වා දෙයි. විපක්ෂ නායකවරයා කෙරෙහි පැවති විශ්වාසය බිඳී යාම මෙන්ම, විපක්ෂයේ ඇතැම් පක්ෂ නායකයන් විවිධ පාර්ශ්ව වෙත යෑම නිසා විපක්ෂයේ පංගුකාරයන්ටද දැන් එහි කටයුතු එප වී ඇති බව ඔහු සඳහන් කරයි.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ, උතුරු-නැගෙනහිර, වතුකරය සහ සුළුජාතීන් ලෙස වෙන් වෙන්ව නොබලා සියලු දෙනාට එක සමානව සලකමින් ආණ්ඩුව සාපේක්ෂව සාධනීය ගමනක යෙදෙන බවයි. පගාව සහ දූෂණය නැති කිරීමට ගත් පියවර මෙන්ම වසර 76ක දේශපාලන සාපයෙන් රට මුදවා ගැනීමට මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳව සෑහීමකට පත්විය හැකි බවද ඔහු පවසයි.
තම සන්ධානය කොළඹට පමණක් සීමා වී නැති බවත්, නුවරඑළිය, බදුල්ල, මඩකලපුව සහ කිලෝනොච්චි ඇතුළු දුර බැහැර ප්‍රදේශවලින් සිවිල් දේශපාලන කණ්ඩායම් තමන් සමඟ එකතු වී සිටින බවත් ඔහු අවධාරණය කරයි. කෙසේ වෙතත්, දූෂිතයන් හෝ සැකපිට සිටින කිසිදු අයෙකු තම සන්ධානයට ඇතුළත් කර නොගන්නා බවත්, ඉදිරි පරම්පරාවට මඟ පෙන්වමින් නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම තම අපේක්ෂාව බවත් ප්‍රභා ගනේෂන් මහතා වැඩිදුරටත් කියා සිටී.
















