ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය කළුගල්, වැලි, පස්, බොරලු සහ මැටි වැනි ඛනිජ ද්‍රව්‍ය කැණීම, ප්‍රවාහනය හා වෙළෙඳාම විනිවිදභාවයෙන් යුතුව සංවිධානය කිරීම සඳහා වන 2026 නව ඛනිජ ප්‍රතිපත්තිය සහ නව බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සැප්තැම්බර් 1 වැනි දින සිට ක්‍රියාත්මක කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (GSMB) සභාපති සමන් ජයසිංහ මහතා පවසයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම නව වැඩපිළිවෙළ යටතේ, බලපත්‍ර නිකුත් කිරීමේදී මෙතෙක් ආයතන ගණනාවකින් අනුමැතිය ගැනීමට සිදු වූ ක්‍රමවේදය වෙනුවට එක් ස්ථානයකින් සියලු අනුමැතීන් සහිතව බලපත්‍ර ලබා දීම සිදු කෙරේ. අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි නිකුත් කරන ලද කර්මාන්ත චක්‍රලේඛ අංක 01/2026 හරහා ක්‍රියාත්මක වන මේ නව ක්‍රමවේදය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් දැනුවත් කර ඇත.
විවිධ රාජ්‍ය ආයතනවල පවතින වෙනස් රෙගුලාසි නිසා බලපත්‍ර ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාද හා අනවශ්‍ය වියදම් අවම කිරීම, අක්‍රමවත් ක්‍රමවේද නිසා සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීම සහ පරිසරයට හා සමාජයට වන හානිය අවම වන පරිදි විද්‍යාත්මක පදනමකින් ඛනිජ උකහා ගැනීම මෙහි මූලික අරමුණයි. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව දිස්ත්‍රික් ලේකම්ගේ සභාපතිත්වයෙන් දිස්ත්‍රික් අධීක්ෂණ කමිටු පිහිටුවනු ලබන අතර, ඩිජිටල්කරණ ක්‍රියාවලිය හරහා කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවන ලෙස කටයුතු කිරීමටද නියමිතය.
















