ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) ත්‍රිවිධ හමුදා නිලධාරීන් 14 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් බංග්ලාදේශයේ නිල අධ්‍යයන සංචාරයක නිරත වී තිබේ.
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, නායකත්ව හැකියාවන් සහ උපායමාර්ගික ඉදිරි දර්ශන නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ජාත්‍යන්තර සහයෝගිතා අධ්‍යයන පැකේජ වැඩසටහන’ යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මෙම සංචාරය සිදු කර ඇත. මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා නියෝජිත පිරිසට බංග්ලාදේශයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හමුවීමටත්, එරට ප්‍රධාන හමුදා ආයතන නිරීක්ෂණය කිරීමටත් අවස්ථාව උදා වී තිබේ.
මෙම වැඩසටහනේ තවත් සුවිශේෂී පියවරක් ලෙස, නියෝජිත පිරිස 2026 අගෝස්තු 07 වැනි දින ඩකා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ආරක්ෂක සහයෝගිතාව යනු දෙරට අතර පවතින දිගුකාලීන සබඳතාවයේ වැදගත් කුලුනක් බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා, මෙවැනි වෘත්තීය හුවමාරු වැඩසටහන් දෙරටේ සන්නද්ධ හමුදා අතර ආයතනික සම්බන්ධතා තවදුරටත් ගැඹුරු කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අවධාරණය කළේය.
















