පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදෙස්ගත වී නැවත නොපැමිණ ගිවිසුම් කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් රජයට ගෙවීමට ඇති සමස්ත මුදල රුපියල් බිලියන 3.4 ක් (රුපියල් කෝටි තුන්සිය හතළිහක්) බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තුවේ පැවති කෝප් කමිටු රැස්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කැඳවා තිබූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය. ගිවිසුම්වල පවතින දුර්වලතා, ලිපිනයන්වල නිරවද්‍යතාව නොමැතිකම සහ ඇප කොන්දේසිවල ගැටලු හේතුවෙන් මෙම මුදල් අය කරගැනීමේදී යම් යම් අභියෝග මතුව ඇති බව මෙහිදී සාකච්ඡා කෙරිණි. කෙසේ වෙතත්, මෑත වසරවලදී මෙම හිඟ මුදලින් කොටසක් ක්‍රමානුකූලව අය කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය සමත්ව ඇති බවද, විදෙස්ගතව සිටින ඇතැම් ආචාර්යවරුන් සමඟ සම්බන්ධතා පවත්වමින් විවිධ ක්‍රමවේද යටතේ විසඳුම් සෙවීමට උත්සාහ කරන බවද නිලධාරීහු පෙන්වා දුන්හ.














