ණයවර ලිපි (LC) මඟින් රටට ගෙන්වන ලදුව, මෙතෙක් අවසන් රේගු නිෂ්කාශනය ලබා නොදුන් වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින මතභේදයට විසඳුමක් සෙවීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.
මෙම කමිටුව මඟින් අදාළ බලපෑමට ලක් වූ වාහන ආනයන සම්බන්ධ ගැටලු පරීක්ෂා කර, සුදුසු විසඳුමකට එළඹීම සඳහා ගත හැකි පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව රේගුව පවසයි. ණයවර ලිපි ක්‍රමවේද යටතේ ගෙන්වන ලද වාහන රේගු නිෂ්කාශනය කරගැනීමේදී ඇති වූ ගැටලු හේතුවෙන් ආනයනකරුවන් විසින් විසඳුම් ඉල්ලා සිටින පසුබිමක් තුළ මෙම පියවර ගෙන ඇත.














