ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) එක්ව සංවිධානය කළ “ON STEPS – ආපදාවකට පෙර සූදානම” ආපදා කළමනාකරණ විශේෂ පුහුණු වැඩසටහන ඊයේ (12) මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
“The Resilience Lab – Local Youth Action in Crisis Response” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ආපදා අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට පමණක් නොව, පූර්ව අනතුරු ඇඟවීම් ලබාදෙමින් ප්‍රජාව සංවිධානය කර ජීවිත ආරක්ෂා කිරීමට ක්‍රියාකාරීව දායක වන තරුණ නායකත්වයක් ගොඩනැගීමයි. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ජාතික තරුණ සේවා සභාවේ Youth Club තරුණ නායක නායිකාවන් සහ තරුණ තරුණියෝ මේ සඳහා එක්වූහ.
සැබෑ ආපදා තත්ත්වයන් අනුකරණය කරමින් පැවැත්වූ ප්‍රායෝගික අභ්‍යාස මගින් හදිසි අවස්ථාවක නිවැරදි තීරණ ගැනීම, අවදානමට ලක්විය හැකි ජනතාවට පූර්ව අනතුරු ඇඟවීම් ලබාදීම, ප්‍රජාව සංවිධානය කිරීම සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදෙන ලදී. උණුසුම් ආතතිය, බහු ආපදා තත්ත්වයන් සහ ඩෙංගු වසංගත තත්ත්වයක් සම්බන්ධයෙන්ද අනුකරණ අභ්‍යාස මෙහිදී පැවැත්විණි. එමෙන්ම ආපදා ප්‍රතිචාර දැක්වීමේදී ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ සම්බන්ධීකරණය සහ ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳවද තරුණ පිරිස දැනුවත් කෙරිණි.
විශේෂයෙන් “Cyclone Ditwah” ඇතුළු පසුගිය ආපදා අත්දැකීම්වලින් ලබාගත් පාඩම් සැලකිල්ලට ගනිමින් අනාගත ආපදා තත්ත්වයන්ට පෙර සූදානම් වීමේදී තරුණ ප්‍රජාවට පැවරෙන වගකීම පිළිබඳවද අවධානය යොමු විය. වැඩසටහන අවසානයේ UNFPA සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අත්දැකීම් හා ඉගෙනීම් පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සැසියක් පැවැත්වුණු අතර, සහභාගී වූ තරුණ තරුණියන් සඳහා සහතික පත්‍ර ප්‍රදානයද සිදු කෙරිණි.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා, UNFPA සහකාර නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා ඇතුළු නිලධාරීන් සහ Youth Club තරුණ නායක නායිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.













