රටට යම් ගැටළුවක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය රාජ්‍ය පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම රජ දවසේ සිට සිදුවූවක් බවත්, එහෙත් වර්තමානයේ රටේ සිදුවන දේවල් තමන් වහන්සේලාටත් ප්‍රශ්නයක් වී ඇති බවත් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මල්වතු මහා විහාරයේදී උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.
හමුවේදී අනාවරණය වූ ප්‍රධාන කරුණු:
ලිපියට පිළිතුරු නොලැබීම: විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිඛිතව තම මතය දැනුම් දුන්නද, අදාළ ලිපිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පිළිතුරක් ලැබී නැති බව මහා නාහිමියෝ පෙන්වා දුන්හ. මහා නාහිමිවරුන්ගෙන් ජනාධිපතිවරයාට ලිපියක් නොලැබුණු බවට පාර්ලිමේන්තුවේ ඇතැම් මැති ඇමැතිවරුන් පවා පවසනු දැකීම කණගාටුදායක බවද උන්වහන්සේ සඳහන් කළහ.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අදහස්: ලොව බොහෝ රටවල විනිසුරුවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 60ට වඩා දීර්ඝ වන බවත්, පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාවේද විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ ගැටළුවක් නොමැති බවත් මෙහිදී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ සුබවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ අසංක ප්‍රනාන්දු මහතාද සහභාගී වී සිටියේය.














