ඉන්දියාවේ තමිල්නාඩු තූත්තුකුඩියේ සිට මන්නාරමට නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ එළුවන් අට දෙනකු හා පරෙවියන් 300ක් පමණ රැඳවූ පරෙයි කූඩු තුනක් සමග සැකකරුවන් තිදෙනකු තමිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත පොලිසිය අදාළ ස්ථානයට යන විට ධීවර අංශය යටතේ ලියාපදිංචි නොකළ ෆයිබර් බෝට්ටුවකට පෙට්ටි තොගයක් පටවමින් සිටි පිරිසක් පොලිසියට හසු වී ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පෙට්ටිවල සඟවා සිටි පරෙවියන්ද, ඒ අසලම ස්ථානයක බැඳ සිටි එළුවන්ද පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු බෝට්ටුවේ සේවකයන් වන අතර, අනෙක් පුද්ගලයා මන්නාරමේ ව්‍යාපාරිකයෙකි. මේ දිනවල ශ්‍රී ලංකාවේ එළුමස්වල මිල ඉතා ඉහළ යෑම නිසා ඉන්දියාවෙන් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ එළුවන් අට දෙනාගේ ශ්‍රී ලංකාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. කෙසේ වෙතත්, ක්‍රීඩාව සඳහා යොදා ගන්නා විශේෂ පරෙවියන් 300ක වටිනාකම තක්සේරු කොට නොමැත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ තමිල්නාඩු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.














