ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයාමා නගරයේ පිහිටි සමූහ නිවසකදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික සිසුවෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අගෝස්තු 11 වන අඟහරුවාදා උදෑසන 10:20 ට පමණ හිගාෂි-හට්සුෂි 3-චෝමේ ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති අතර, උදරයට තියුණු පිහි පහරක් ලක්වූ තරුණයා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි ජයකොඩි ආරච්චිලාගේ ප්‍රවීන් ඉසුරු නමැති 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකි.
ප්‍රහාරයෙන් අනතුරුව සැකකරු විසින්ම හදිසි සහන සේවා වෙත දැනුම් දී ඇති අතර, ස්ථානයට පැමිණි නගරෙයාමා පොලිස් නිලධාරීන් හමුවේ තමා පිහියෙන් ඇන බව පිළිගැනීමෙන් පසුව ඔහුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සැකකාර 18 හැවිරිදි තරුණයා සඳහන් කර ඇත්තේ, මියගිය තරුණයා විසින් තමාට සමලිංගිකයෙකු යැයි පවසමින් අපහාස කිරීම, මවට බැන වැදීම සහ තමාට පහරදීම හේතුවෙන් ඇතිවූ කෝපය මත මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
චිබා ප්‍රාන්ත පොලිසිය විසින් සිද්ධියට මුල් වූ සැබෑ තත්ත්වය සහ වැඩිදුර විමර්ශන ඉදිරියට ගෙන යනු ලබයි.














