මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ, දැනට පවතින වියළි කාලගුණය නිමා වී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක්කේ එළඹෙන ඔක්තෝබර් මාසයේදී පමණක් බවය.
විශේෂයෙන්ම නැගෙනහිර පළාතේත්, මොනරාගල සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බැවින්, එළිමහනේ ගැවසීමේදී සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම, විටින් විට විවේක ගැනීම, හැකිතාක් ජලය පානය කිරීම සහ රෝගී පුද්ගලයින් හා වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවට දන්වා ඇත.
දිවයින හරහා මේ වන විට නිරිතදිග මෝසම ක්‍රියාත්මක වන අතර, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද (13) දිනයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයකත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි නමුත්, ඉදිරි දින කිහිපය තුළ සමස්තයක් ලෙස වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කෙරේ. එසේම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක තද සුළං තත්ත්වයක්ද ඇති විය හැක.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සැප්තැම්බර් මාසය දක්වා තවදුරටත් වියළි කාලගුණයක් අපේක්ෂා කෙරෙන අතර, මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් කාලය තුළ මෙම ප්‍රදේශවලට වර්ෂාව අඩුවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද ‘එල්නිනෝ’ තත්ත්වය හේතුවෙන් එය තවදුරටත් තීව්‍ර විය හැක.
එල්නිනෝ බලපෑම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මෙරිල් මෙන්ඩිස් මහතා මෙසේ පැවසීය:
> “මේ වසරේ අපට තවම එල්නිනෝ තත්ත්වයේ උපරිම බලපෑමක් දැකගන්නට නැහැ. අගෝස්තු මාසයත් සමඟ එහි වර්ධනය අපට නිරීක්ෂණය කළ හැකියි. කෙසේ වෙතත්, නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වන විට මෙම එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට වර්ධනය වීමට 80%කට වඩා වැඩි සම්භාවිතාවක් තිබෙනවා. එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් මාසය දක්වාම පවතිනු ඇති.”
ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දිවයින පුරා වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි වුවද, එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලබන වසරේ පළමු කාර්තුව තුළ යළිත් වර්ෂාපතනය අඩුවීමේ සම්භාවිතාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.














