ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සමාන වටිනාකමක් සහ ගෞරවයක් සහිත අධ්‍යාපන මාර්ගයක් ලෙස පිළිගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
ජර්මානු රජයේ BMZ ආයතනය හරහා ලැබුණු සහාය මත GIZ ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද, ස්විට්සර්ලන්ත සංවර්ධන හා සහයෝගිතා ඒජන්සිය (SDC) සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක වූ “ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව (VTSL) – දෙවන අදියර” ව්‍යාපෘතියේ සාර්ථක අවසන් කිරීම සනිටුහන් කරමින් ඊයේ (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා දිගුකාලීනව ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ රජයන්ටත්, GIZ, BMZ සහ SDC ආයතනවලටත් සිය ස්තූතිය පළ කළාය. වෘත්තීය අධ්‍යාපනය යනු තරුණ තරුණියන් රැකියා සඳහා සූදානම් කිරීම පමණක් නොවන බවත්, එය සමාන අවස්ථා නිර්මාණය කිරීම, ජීවනෝපායන් ශක්තිමත් කිරීම, අසමානතා අවම කිරීම සහ තරුණ පරපුරට අර්ථවත් ජීවිත ගොඩනගා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳවද වන බව ඇය අවධාරණය කළාය.
වේගයෙන් වෙනස් වන තාක්ෂණික ක්ෂේත්‍රයන්ට සහ ශ්‍රම වෙළෙඳපොළේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්විය හැකි දක්ෂ, අනුවර්තනය විය හැකි සහ නවෝත්පාදන හැකියාවන්ගෙන් යුත් ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, TVET ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා මෙම ව්‍යාපෘතිය ලබාදුන් දායකත්වයද අගය කළාය. ඒ අතර TVET ඩිජිටල් මාර්ග සිතියම, ඩිජිටල් විෂයමාලා, තොරතුරු කළමනාකරණ පද්ධති සහ “GuideMe” යෙදුම හඳුන්වාදීමද ඇතුළත් වේ.
වෘත්තීය අධ්‍යාපනය රජයේ පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ අත්‍යවශ්‍ය කොටසක් විය යුතු බවත්, එමඟින් රැකියා සඳහා පමණක් නොව උසස් අධ්‍යාපනය, වෘත්තීය දියුණුව සහ ජීවිත කාලය පුරා ඉගෙනීම සඳහාද මාර්ග විවෘත කළ යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. කාන්තාවන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහාද කුසලතා සංවර්ධනය තුළින් අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරුණු අතර, රජය, පුහුණු ආයතන සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද පෙන්වා දෙන ලදී.














