ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්‌ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෑතකදී සිදුකළ ප්‍රකාශ, ඉදිරියේදී ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමක් හෝ පහළ දැමීමක් පිළිබඳ ඉඟියක් හෝ කැපවීමක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කර තිබේ. අධිපතිවරයා මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශ ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය විසින් වැරදි ලෙස අර්‌ථකථනය කර ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.
2026 ජූලි මාසයේ පැවති නවතම මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයේදී දැනුම් දුන් පරිදි, වර්‌තමාන සහ අපේක්ෂිත ගෝලීය හා දේශීය ආර්‌ථික තත්ත්වයන් සැලකිල්ලට ගත් විට දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සුදුසු මට්ටමක පවතින බව මහ බැංකුව පවසයි. මුදල් ප්‍රතිපත්ති තීරණ ඉදිරි දැක්මක් සහිතව සහ නවතම දත්ත මත පදනම්ව ගනු ලබන අතර, පොලී අනුපාත ඉහළ දැමීම, පහළ දැමීම හෝ නොවෙනස්ව පවත්වාගෙන යාම පිළිබඳ තීරණය සෑම මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයකදීම වෙන වෙනම ගනු ලබයි.
එම තීරණ ගැනීමේදී නවතම ආර්‌ථික දත්ත, පුරෝකථන සහ අවදානම් තක්සේරු සැලකිල්ලට ගන්නා බව මහ බැංකුව අවධාරණය කරයි. ඒ අනුව ආචාර්‌ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රකාශයේ අරමුණ වූයේ මෙම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවලිය පැහැදිලි කිරීම මිස, අනාගත ප්‍රතිපත්ති පොලී අනුපාතවල දිශාව හෝ මට්ටම පිළිබඳ පූර්‌ව සංඥාවක් ලබාදීම නොවන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.













