රටේ වෙනසක් ඇති කිරීම සඳහා අවදානමක් භාරගැනීමට සිදුවන බවත්, එම ක්‍රියාවලිය හේතුවෙන් තම ජනාධිපති ධුරය අහිමි වුවහොත් එය භාරගෙන පිටත්ව යාමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ජනාධිපති කාර්‌යාලයේ පැවති සාකච්ඡාවකදී එම සංගමය මතුකළ කරුණුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
අවදානමක් නොගෙන සැබෑ වෙනසක් සිදුකළ හැකි බව තමන් විශ්වාස නොකරන බව පැවසූ ජනාධිපතිවරයා, ඒ හේතුවෙන් අවදානම භාරගැනීමට සූදානම් බව අවධාරණය කළේය. “අවදානම හමුවේ මගේ තනතුර අහිමි වෙනවා නම් ඒක ඉතා හොඳින් භාරගෙන මම පිටත්වෙලා යන්න ලෑස්තියි. ඒකට මම සූදානම්” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ උදාහරණයක් ලෙස ගත් ජනාධිපතිවරයා, එම පරීක්ෂණ බුද්ධි අංශ සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වන අතර තම ආරක්ෂාව පිළිබඳ වගකීමද එම අංශ වෙත පැවරී ඇති බව පෙන්වා දුන්නේය. එවැනි පසුබිමක තම ජීවිතයට අවදානමක් පැවතිය හැකි බව දැන සිටියද පරීක්ෂණ ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













