රුපියල් මිලියන 835ක වියදමින් ඉදිකළ කෑගල්ල නව ඩිපෝ සංකීර්‌ණය අද (13) ජනතා අයිතියට පත් කර තිබේ. මෙරට විධිමත් ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැංවීමේ අරමුණින් රට පුරා ක්‍රියාත්මක සංවර්‌ධන ව්‍යාපෘති යටතේ මෙම නව සංකීර්‌ණය ඉදිකර ඇති බව රජය සඳහන් කරයි.
නව ඩිපෝ සංකීර්‌ණය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කාර්‌යාලය, ශ්‍රී ලංගම රියදුරු අභ්‍යාස විද්‍යාලය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කෑගල්ල ශාඛාව, ශ්‍රවණාගාරයක්, ධාවන අංශය, සේවක විවේකාගාරය සහ ගිණුම් කාර්‌යාලය ඇතුළු පහසුකම් ස්ථාපිත කර තිබේ. ඊට අමතරව ආපන ශාලාවක් සහ බස් රථ විශාල සංඛ්‍යාවක් ගාල් කළ හැකි රථගාලක්ද ඊට ඇතුළත්ය.
ශ්‍රී ලංගම බස් රථ සඳහා ඉන්ධන සැපයීමේ පිරවුම්හලක් මෙන්ම නවීන උපකරණ සහිත බස් රථ අලුත්වැඩියා කිරීමේ කාර්‌මික අංගනයක්ද මෙම සංකීර්‌ණයේ ස්ථාපිත කර තිබේ. නව ඩිපෝව විවෘත කිරීමත් සමඟ කෑගල්ල ප්‍රදේශයේ ශ්‍රී ලංගම මෙහෙයුම්, නඩත්තු සහ පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් එකම පරිශ්‍රයකින් සැපයීමට හැකිවනු ඇත.













