මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවීමකට ලක්ව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කරයි. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බවත්, එවැනි ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් ඇය විභාග අපේක්ෂකයන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත්තේ හෙට (14) පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද (13) අම්බලන්තොට විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක තිබී හමුවීම පිළිබඳ තොරතුරු වාර්තා වූ පසුබිමකය. එම සිද්ධිය සම්බන්ධයෙන්ද විභාග කොමසාරිස් ජනරාල්වරිය මීට පෙර සඳහන් කර තිබුණේ අදාළ ප්‍රශ්න පත්‍ර පැකට් විවෘත වී හෝ නිරාවරණය වී නොමැති බවයි.
ඒ අනුව ප්‍රශ්න පත්‍ර පැකට් වැරදි බහාලුමක තිබී හමුවීම සහ ප්‍රශ්න පත්‍රයක් පිටවීම යනු වෙනස් කරුණු දෙකක් වන අතර, මේ වනවිට ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව ඇති බවට තහවුරු කළ තොරතුරක් නොමැති බව විභාග බලධාරීන්ගේ ස්ථාවරයයි.













