ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් සංවිධානය කරන “මානව හිමිකම් සහ සමාජ වගකීම පිළිබඳ 2026 තරුණ කඳවුර” සඳහා අයදුම්පත් කැඳවා තිබේ. ඔක්තෝබර් 26 සිට 31 දක්වා දින හයක් නේවාසික වැඩසටහනක් ලෙස පැවැත්වෙන මෙම කඳවුර සඳහා දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණ තරුණියන් 55 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.
මානව හිමිකම්, අවංකභාවය, වගවීම, සමානාත්මතාව, වෙනස්කම් නොකිරීම, විවිධත්වය, ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය සහ සමාජ වගකීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් වැඩසටහනට ඇතුළත් වේ. මත්ද්‍රව්‍ය භාවිතය, දූෂණය, සයිබර් අපරාධ, අසත්‍ය තොරතුරු, වෛරී ප්‍රකාශ, ප්රචණ්ඩත්වය, වෙනස්කම් කිරීම, පාරිසරික හානිය සහ මානසික සෞඛ්‍යය ආශ්රිත තරුණ ප්‍රජාව මුහුණදෙන අභියෝග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය. අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් සැසි, නායකත්ව පුහුණු, කණ්ඩායම් සාකච්ඡා සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද පැවැත්වේ.
සෑම දිස්ත්‍රික්කයකින්ම දෙදෙනෙකු බැගින් තෝරාගන්නා අතර, ආබාධ සහිත පුද්ගලයන් සහ අනෙකුත් ආන්තික ප්‍රජාවන් නියෝජනය කිරීම සඳහා තවත් පස්දෙනෙකුට අවස්ථාව ලබාදීමට නියමිතය. නේවාසික පහසුකම් HRCSL විසින් සපයන අතර නියමිත කොන්දේසි අනුව සුදුසුකම් ලබන ප්‍රවාහන වියදම්ද ප්‍රතිපූරණය කෙරේ. අයදුම්පත් භාරගැනීම අගෝස්තු 31 දිනෙන් අවසන් වන අතර වැඩිදුර තොරතුරු HRCSL අධ්‍යාපන හා විශේෂ වැඩසටහන් අංශයෙන් ලබාගත හැකිය.














