විදේශයන්හි ක්‍රියාත්මක අන්තර්ජාතික අපරාධ සංවිධාන ඉලක්ක කර සීමිත සයිබර් මෙහෙයුම් සිදුකිරීම සඳහා ඇමෙරිකානු පෞද්ගලික සමාගම්වල හැකියාව යොදාගැනීමට ජනාධිපති Donald Trump නව ජාතික ආරක්ෂක ජනාධිපති සංදේශයකට අත්සන් තබා තිබේ. ඒ අනුව මෙතෙක් ප්‍රධාන වශයෙන් රාජ්‍ය ආයතන සතුව පැවති ප්‍රහාරාත්මක සයිබර් මෙහෙයුම්වලට පෞද්ගලික අංශයද එක්කර ගැනීමට නියමිත අතර, එම මෙහෙයුම් ඇමෙරිකානු රජයේ මඟපෙන්වීම, පාලනය සහ අධිකාරිය යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව වැඩපිළිවෙළ යටතේ සුදුසුකම් පරීක්ෂා කර තෝරාගන්නා සමාගම්වලට නිශ්චිත ඉලක්ක සම්බන්ධයෙන් “cyber surveillance operations” සහ “cyber effects operations” සිදුකිරීමට හැකි වේ. තොරතුරු පද්ධති හා ජාල හැසිරවීම, ඒවායේ ක්‍රියාකාරිත්වයට බාධා කිරීම, ප්‍රවේශය අවහිර කිරීම, හැකියාව දුර්‌වල කිරීම හෝ විනාශ කිරීම දක්වා ක්‍රියාමාර්‌ග “cyber effects” යටතට ඇතුළත් වන බව සංදේශයේ සඳහන් වේ. මෙහි ප්‍රධාන ඉලක්ක ලෙස ransomware ප්‍රහාර, මූල්‍ය වංචා සහ විදේශයන්හි සිට ක්‍රියාත්මක වන අන්තර්ජාතික අපරාධ ජාල හඳුනාගෙන තිබේ.
මෙම වැඩසටහන Department of Homeland Security සහ Department of Justice අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, සහභාගී වන සමාගම් අවම වශයෙන් ඩොලර් මිලියනයක bond හෝ escrow මුදලක් පවත්වාගෙන යා යුතුය. කෙසේ වෙතත්, පෞද්ගලික සමාගම් ජාත්‍යන්තර සයිබර් ගැටුම්වලට සෘජුව සම්බන්ධ කිරීමෙන් අනපේක්ෂිත ප්‍රතිවිපාක, ගැටුම් උත්සන්න වීම සහ නීතිමය වගකීම් පිළිබඳ අවදානම් මතුවිය හැකි බවට නීති හා සයිබර් ආරක්ෂක ක්ෂේත්‍රවල අවධානය යොමු වී තිබේ.














