දකුණු කොරියාවේ Incheon ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ජාත්‍යන්තර මගී ප්‍රවාහනය අනුව ලොව කාර්යබහුලම ගුවන්තොටුපළ බවට පළමු වරට පත්ව තිබේ. Airports Council International හි මූලික දත්ත අනුව 2026 වසරේ පළමු මාස හය තුළ Incheon හරහා ජාත්‍යන්තර මගීන් මිලියන 38.4ක් ගමන් කර ඇති අතර, ලන්ඩනයේ Heathrow මිලියන 37.79ක් සමඟ දෙවැනි ස්ථානයටත් සිංගප්පූරුවේ Changi මිලියන 34.53ක් සමඟ තෙවැනි ස්ථානයටත් පත්ව ඇත.
ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් හේතුවෙන් මැදපෙරදිග ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථාන හරහා ගමන් කළ මගීන් වෙනත් මාර්ග වෙත යොමුවීම Incheon හි මෙම වර්ධනයට එක් හේතුවක් බව ගුවන්තොටුපළ බලධාරීහු පවසති. මීට පෙර Dubai හරහා යුරෝපයට ගමන් කළ ඇතැම් මගීන් Incheon හරහා ගමන් කිරීමත් සමඟ එහි හුවමාරු මගීන් සංඛ්‍යාව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18%කින් ඉහළ ගොස් තිබේ. යුරෝපය අවසන් ගමනාන්තය කරගත් හුවමාරු මගීන් සංඛ්‍යාවද 63.2%කින් ඉහළ ගොස් 210,000ක් වී ඇත.
2001දී විවෘත කළ Incheon ගුවන්තොටුපළ මේ වනවිට ජාත්‍යන්තර ගමනාන්ත 158කට සේවා සපයන අතර, යටිතල පහසුකම් පුළුල් කිරීමද වැඩිවන මගී ප්‍රවාහනය හැසිරවීමට උපකාරී වී ඇති බව එහි පාලනාධිකාරිය සඳහන් කරයි. 2024දී ලෝක ශ්‍රේණිගත කිරීමේ 12 වැනි ස්ථානයේ සහ 2025දී 13 වැනි ස්ථානයේ සිටි Incheon, 2026 පළමු අර්ධයේදී ජාත්‍යන්තර මගී ප්‍රවාහනයෙන් පළමු ස්ථානයට පැමිණීම කැපී පෙනෙන වර්ධනයකි.














