පසුගිය වසරේ මෙරට බෝට්ටු නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 53ක ආදායමක් උපයා ඇති බව කර්මාන්ත අංශ දත්ත පෙන්වා දෙන බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. වත්තල, දික්ඕවිට ප්‍රදේශයේ පිහිටි නව බෝට්ටු නිෂ්පාදන අංගණයක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත්ව තිබූ, භාවිතයට නොගත් භූමි භාගයක රුපියල් මිලියන 50කට අධික ආයෝජනයකින් මෙම නව බෝට්ටු නිෂ්පාදන අංගණය ඉදි කර තිබේ. ඉදිරි වසර තුන තුළ රජයේ සහයෝගය සහ පෞද්ගලික ව්‍යවසායකත්වයේ දායකත්වය මත බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයෙන් අපනයන ආදායම තවදුරටත් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














