ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ආයෝජන අවස්ථා පුළුල් කරගනිමින් දෙරට අතර වෙළෙඳ සබඳතා ඉහළ නංවා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව ඕමාන විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා පවසයි. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමු වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුමකට (FTA) එළඹීමේ හැකියාව පිළිබඳව ද ඕමාන පාර්ශ්වයේ උනන්දුව ප්‍රකාශ කර ඇති අතර, ලංකා නැව් සංස්ථාවේ පවතින අවස්ථා ඇතුළු මෙරට ආයෝජන අවස්ථා සොයා බලන ලෙස අමාත්‍යවරයා ඕමාන ආයෝජකයන්ට ආරාධනා කළේය. අමාත්‍යවරයා එම නිදහස් වෙළෙඳ ගිවිසුම් යෝජනාව පිළිගත් අතර, දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී එකඟතාව පළ විය.














