වත්තල ප්‍රදේශයේ හෝටලයක පසුගිය ජූලි 23 වැනි දින රාත්‍රී පැවති උපන් දින සාදයකට කඩා වැදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර බෝට්ටුවක් මඟින් ඉන්දියාවට පලා ගොස් සිටි ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (13) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පිටුවහල් කර තිබේ.
වත්තල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මහේෂ්වරන් ලුසිනාත් සහ 34 හැවිරිදි ගනේෂන් විග්නේෂ්වරන් යන අය මෙලෙස පිටුවහල් කර ඇති අතර, ඔවුන් ඊයේ පස්වරු 4.15ට චෙන්නායි නුවර සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E-1179 දරන ගුවන් යානයෙන් කටුනායකට ළඟා වී ඇත. ඉන්දීය ආරක්ෂක අංශ ලබා දුන් තොරතුරු මත ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් වහාම අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා දැඩි ආරක්ෂාව යටතේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත භාර දී තිබේ.














