මෙරට විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් හා නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය“ යටතේ හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) ආරම්භ කෙරිණි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහන ණය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 328.25ක ආයෝජනයකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ පැකේජ කිහිපයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව මීරිගම 220/33 kV සහ පෑලියගොඩ 132/33 kV GIS ග්‍රිඩ් උපපොළවල් ඉදිකිරීම පැකේජය 1A යටතේ ද, හෝමාගම 132/33 kV සහ මීගමුව 132/33 kV AIS ග්‍රිඩ් උපපොළවල් ඉදිකිරීම පැකේජය 1B යටතේ ද සිදු කෙරෙන අතර, එහි හෝමාගම උපපොළ 2028දී නිම කිරීමට නියමිතය.
මීට අමතරව, කිලෝමීටර 78ක් දිගු හම්බන්තොට-මාතර 132 kV ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් ඇතුළු LILO සම්බන්ධතා සංවර්ධනය කිරීම පැකේජය 2 යටතේ ද, කැලණිය-කොටුගොඩ රැහැනේ සිට පෑලියගොඩ දක්වා කිලෝමීටර 2ක 132 kV භූගත කේබලයක් ස්ථාපනය කිරීම පැකේජය 4 යටතේ ද ක්‍රියාත්මක වේ. ජාල-පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) සහ පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම පිළිවෙළින් පැකේජය 5 සහ 6 යටතේ සිදු කෙරෙන අතර, ජාතික විදුලිබල පද්ධතියේ ඉල්ලුම සපුරාලීම, විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සහ අනාගත පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම සඳහා ශක්තිමත් ජාලයක් සැකසීම මෙමඟින් අපේක්ෂා කෙරේ.














