නුවරඑළිය දිස්ත්‍රික්කයේ කසළ කළමනාකරණය විධිමත් කරමින් පාරිසරික ගැටලුවකට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘පිවිතුරු පුරවර’ ජාතික කසළ කළමනාකරණ වැඩසටහනේ ඉදිරි සැලසුම් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත. සමස්ත දිවයිනේ කසළ ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීමේ අරමුණින් වසර තුනක කාලයක් තුළ රුපියල් මිලියන 30,000කට අධික ප්‍රතිපාදන වෙන් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවල සක්‍රීය දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලෝකයේ දියුණු රටවල අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රමවේදයන් ද සැලකිල්ලට ගනිමින් කසළ පාරිසරික හා සමාජීය ගැටලුවක් ලෙස නොව, ආර්ථික වටිනාකමක් සහිත සම්පතක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය ඉලක්ක කරගත් ‘පුනරුදයේ පුරවර’ වැඩසටහන සම්බන්ධ කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ.















