සංඥා භාෂා පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කර තිබේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මූලස්ථානයේදී පැවැත්වෙන ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතිය යටතේ පැවැත්වෙන 35 වැනි කමිටු සැසියට සහභාගී වීම සඳහා මෙරටින් පිටත්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. නව රජය යටතේ ගත වූ මාස 18ක කාලය තුළ ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආබාධ සහිත පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම ඇතුළු ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගෙන ඇති බව ඔහු අවධාරණය කළේය. තවද, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, එය මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














