නාගරික සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය ආයතන හවුල්කාරිත්වයෙන් සෙත්සිරිපාය තුන්වන අදියර පරිපාලන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) දින පැවති විශේෂ සාකච්ඡාවකින් පසු මෙම පියවර ගෙන ඇත. 2019 වසරේදී ආරම්භ කර විවිධ අර්බුද හේතුවෙන් අතරමග නතර කර තිබූ මහල් 25කින් සහ වර්ග අඩි 1,359,439ක වපසරියකින් යුත් මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් සිදුකෙරේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 16.7කි. කොළඹ නගරය වාණිජ නගරයක් බවට පරිවර්තනය කරමින්, කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශවල පිහිටි රජයේ කාර්යාල බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කලාපය වෙත ක්‍රමිකව විතැන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.














