පොදු මගී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නතර කර තැබීමට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.
බස් නැවතුම්පළවල වෙනත් වාහන නතර කර තැබීම හේතුවෙන් බස් රථ මාර්ගයේ මැද නැවැත්වීමට සිදුවීමෙන් දැඩි මාර්ග තදබදයක් මෙන්ම මගීන්ගේ ජීවිතවලට ද අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වන බව පොලීසිය පවසයි. විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මඟින් ගමන් කළ හැකි නව බස් රථ සේවාවක් ද හඳුන්වා දී ඇති බැවින්, බස් නැවතුම්පළවල් කිසිදු අවහිරතාවකින් තොරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
මෙම ගැටළුවට විසඳුම් ලෙස රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව සාමාන්‍ය බස් නැවතුම්පළකට ළඟා වීමට මීටර් 30ක් ඇතුළත සහ පිටවන මීටර් 15ක් ඇතුළත වාහන නවතා තැබීම තහනම් කර ඇත. තවද, බස් නෙරුව (Bus Bays) සහිත බස් නැවතුම්පළක ළඟාවෙන දෙසින් මීටර් 15ක් සහ පිටවීමේ දෙසින් මීටර් 10ක් ඇතුළත අනෙකුත් වාහන නතර කිරීම තහනම් වේ. මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මෙම නීති කඩ කරන රියැදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් දන්වා සිටියි.














