පවතින ‘එල්නිනෝ’ දේශගුණික විපර්යාසය හේතුවෙන් ඉදිරි අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී දිවයිනේ ප්‍රදේශ රැසක සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මඩකලපුව, අම්පාර, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලු මතු වී ඇති අතර බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවයි.
පොළොන්නරුව, අනුරාධපුරය, වවුනියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල කුඩා වැව් සිඳී යාම නිසා වගා හානි සිදුව ඇති බවත්, වගා හානි සඳහා කෘෂිකාර්මික රක්ෂණ මණ්ඩලය හරහා වන්දි ගෙවීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බවත් හෙතෙම කියා සිටියේය. මහවැලි සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු යටතේ ඇති ප්‍රධාන ජලාශවල පානීය ජලය සඳහා ප්‍රමාණවත් ජල මට්ටමක් පවතින බැවින් පානීය ජල කප්පාදුවක් පිළිබඳ තීරණයක් ගෙන නැති නමුත්, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය මුදා හැරීම මෙම සතියෙන් අවසන් කර ඉදිරියට පානීය ජල අවශ්‍යතාවට මුල්තැන දී ජලය සුරක්ෂිත කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















