මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක මාස කිහිපයක සිට පවතින දැඩි හිඟයක් හේතුවෙන් රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ. රෝහල් ඔසුසලෙන් නොමිලේ ලබාදිය යුතු ඇතැම් ඖෂධ ලබා ගැනීමට නොහැකි වීම නිසා, රෝගීන්ට රුපියල් තිස්දහස, අසූදහස සහ ලක්ෂය වැනි ඉහළ මිල ගණන් යටතේ පිටතින් ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇතැයි රෝගීහු පෙන්වා දෙති.
පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ විශාල මුදලක් වැය කර ඖෂධ මිලදී ගැනීමට නොහැකි වීමෙන් මෙන්ම, ඇතැම් පිළිකා නාශක ඖෂධ මුදල් ගෙවා ගැනීමට පවා පෞද්ගලික ඔසුසල්වල නොමැති වීම නිසා රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ. මේ පිළිබඳව කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලේ යම් කාලයක සිට ඖෂධ හිඟයක් පවතින බවත්, වරින් වර හිඟ වන ඖෂධ වර්ග වෙනස් වන බවත්ය.
















