අධික නිදිමත ස්වභාවය, දියවැඩියාව ආදී සංකූලතා කිහිපයක් හේතුවෙන් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වෙත ගොස් පරීක්ෂණ කරගත් කුමුදු ජයවර්ධන මහත්මියට, ෆැටී ලිවර් හෙවත් අක්මාවේ මේදය තැන්පත් වීම යන්නෙහි දෙවන අදියරේ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය විය. රෝගී කාමර පරීක්ෂාවේ නිරත වූ වෛද්‍යවරියක් ඇයට වහාම ඇල්කොහොල් ගැනීම නවත්වන ලෙස උපදෙස් දුන්නද, ඇය ඇල්කොහොල් භාවිත කරන්නෙකු නොවී ඇත.
අක්මාව යනු මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය ම අංගයක් වන අතර, එහි ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල වුවහොත් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන හෙයින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. ලෝක ජනගහනයෙන් 30%කට අධික ප්‍රතිශතයක් (එනම් සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු) ෆැටී ලිවර් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
‘අක්මාවේ මේදය තැන්පත් වීම Fatty Liver ලෙස හැඳින්වේ. මධ්‍යසාර භාවිතය ඇතිව හෝ නොමැතිව අක්මාවේ මේද තැන්පත් වීම සිදුවිය හැක. එම රෝග තත්ත්ව පිළිවෙලින්, මධ්‍යසාර ආශ්රිත Fatty Liver සහ මධ්‍යසාර ආශ්රිත නොවන Fatty Liver නම් වේ’ යනුවෙන් Sri Lanka College of Internal Medicine ආයතනය පැහැදිලි කරයි.














