ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් නව ආයෝජන මාලාවක් සඳහා ඕස්ට්‍රේලියානු ආයෝජකයින් විසින් පූර්ණ එකඟතාව පළ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
රටේ කාර්මික, කෘෂිකාර්මික සහ තිරසර බලශක්ති ක්ෂේත්‍ර නංවාලීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු ආයෝජකයින් සහ ව්‍යවසායකයින් සමඟ විශේෂ ආයෝජන සාකච්ඡා වටයක් සාර්ථකව අවසන් වූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේය. මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සහ වෙනත් රාජ්‍ය නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.
අමාත්‍යවරයාට අනුව, මෙම සාකච්ඡාවලදී තිරසර බලශක්ති විසඳුම්, පරිසර හිතකාමී රෙදිපිළි තාක්ෂණය, වාණිජ කිරිගව සහ ගව පාලන සංවර්ධන ව්‍යාපෘති, කාර්මික කලාප තුළ ප්‍රතිචක්‍රීකරණය පදනම් කරගත් ප්ලාස්ටික් කර්මාන්ත, ජලජීවී වගා ව්‍යාපෘති සහ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘති යන ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කර ඇත.
ශ්‍රී ලංකාව තුළ විනිවිදභාවයෙන් යුත්, විශ්වාසදායක සහ ආයෝජන හිතකාමී පරිසරයක් ස්ථාපිත කර ඇති බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා, මෙම ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහාය සහ පහසුකම් ලබා දීමට රජය සූදානම් බවටද සහතික වී තිබේ.
















