ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 8ක වටිනාකමකින් යුත් පළමු ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් 19,892ක් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා අද (15) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන හා බෙදා හැරීම් කොමසාරිස්වරියක විසින් පසුගිය 12 වැනිදා තලංගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. නැගෙනහිර පළාතේ 01 ශ්‍රේණියේ 03 වන වාරයට අදාළ මෙම පෙළපොත් තොගය, එම පළාතේ මධ්‍යස්ථාන 12ක් වෙත ප්‍රවාහනය කිරීම සඳහා බියගම ප්‍රදේශයේ පිහිටි ප්‍රවාහන ආයතනයක් වෙත පසුගිය මැයි 04 වැනි දින ගිවිසුම්ගතව ලබා දී තිබුණද, ඒවා නිසි පරිදි බෙදා හැර නොතිබිණි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පෙළපොත් තොගය රැගෙන ගිය ප්‍රවාහන සමාගමේ ලොරි රථ රියදුරු (පළමු සැකකරු) විසින් මෙම පොත් තොගය අලව්ව, පාතයාය, මාවත පහළ, කැප්පිටිවලායන යන ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය අළෙවි කරන ස්ථානයකට (බෝතල් පත්තර කඩයකට) විකුණා ඇති බවයි. රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා රජයේ දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සහ අලාභ හානි සිදු කිරීම යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















