මෙරට කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නංවමින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් 2026 වසරේ මුල් මාස හය තුළදී මෙතෙක් ඉතිහාසයේ වාර්තාගත මූල්‍ය ප්‍රගතියක් අත්පත් කරගනිමින් රුපියල් මිලියන 300 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. ආයතනික ඉතිහාසය අලුත් කරමින් මෙම සුවිශේෂී මූල්‍ය ඉලක්කය සපුරාගැනීම හරහා මණ්ඩලයේ මූල්‍ය පාලනය සහ පරිපාලනමය කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇති බව තහවුරු වන අතර, එය වත්මන් ආර්ථික පසුබිම තුළ රාජ්‍ය ව්‍යවසායකයෙකු ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැළකේ. මූල්‍යමය ලාභය ඉක්මවා යමින් සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමේ ජාතික මෙහෙවරට දායක වෙමින් මෙම සාර්ථකත්වය ළඟා කරගැනීම විශේෂත්වයකි.
මෙම ආර්ථික පිම්ම සඳහා ආයතනයේ සියලු අංශවල කැපවීම මෙන්ම නිවැරදි නායකත්ව මාර්ගෝපදේශනය යටතේ ක්‍රියාත්මක වූ මූල්‍ය පාලන ක්‍රමවේද දැඩි ලෙස ඉවහල් වී තිබේ. විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් තෘණ හා බඩඉරිගු වගාව ව්‍යාප්ත කිරීම, ඌණ උපයෝජිත සම්පත් හරහා ආදායම් උත්පාදනය, නිෂ්පාදනවල අගය එකතු කිරීම සහ නව නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීම වැනි පුළුල් උපායමාර්ගික ක්‍රියාමාර්ග මෙම සාර්ථකත්වයේ කොඳු නාරටිය වී ඇත. මීට අමතරව, කරදගොල්ල, මිරිස්වත්ත සහ මාවත්ත ඇතුළු බොයිලර් කුකුළු අභිජනන ගොවිපොළ හරහා හිමි වූ දායකත්වය අතිමහත් වන අතර, වෙළඳපොළේ කුකුළු මස් මිල ඉහළ ගිය අවස්ථාවලදී පාරිභෝගිකයා ආරක්ෂා කරමින් මිල ස්ථාවර කිරීමට මණ්ඩලය දැක්වූ දායකත්වය සමාජීය වශයෙන්ද බෙහෙවින් වැදගත් විය.
1973 වසරේදී ආරම්භ කරන ලද මෙම මණ්ඩලය වර්තමානය වන විට ගොවිපොළ 30කින්, පුහුණු මධ්‍යස්ථානයකින් සහ කිරි ව්‍යාපෘති ඒකක 32 කින් සමන්විතව පුළුල් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන අතර, දැනටමත් මෙහි ගොවිපොළ රැසක් නවීන තාක්ෂණික පහසුකම් සහිතව සංවර්ධනය කෙරෙමින් පවතී. ඉදිරියේදී මෙම සංවර්ධන වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරමින් දේශීය කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රයේ ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීමටත්, ආර්ථිකයට ලබා දෙන දායකත්වය අඛණ්ඩව වර්ධනය කර ගැනීමටත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරයි.













