එල් නිනෝ සංසිද්ධියත් සමඟ ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙරට ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි. ඔවුන් විසින් නිකුත් කරන ලද මුදල් ප්‍රතිපත්ති වාර්තාවක මෙම කරුණු සඳහන් වේ.
මහ බැංකුව පෙන්වා දෙන පරිදි, නුදුරු හා මැදිකාලීනව උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යාමේ අවදානමක් පවතියි. දිගුකාලීන වියළි කාලගුණික තත්ත්ව සහ අක්‍රමවත් වර්ෂාපතන රටා හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන හා ඒ ආශ්‍රිත ආර්ථික ක්‍රියාකාරකම් අඩාල විය හැකි අතර, ජලාශවල ජල මට්ටම පහළ යෑම නිසා ජල විදුලි උත්පාදනය සීමා වී, වැඩි පිරිවැයක් දැරීමට සිදුවන තාප විදුලි උත්පාදනය මත රඳා වීමට සිදුවීමෙන් බලශක්ති සහ නිෂ්පාදන වියදම් ඉහළ යා හැක.
සමස්තයක් ලෙස මෙම ප්‍රවණතා හේතුවෙන් කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන ප්‍රධාන අංශ තුනෙහිම ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර බලපෑම් එල්ල විය හැකි අතර, අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා අඩුවිය හැකි බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
















