ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගය සමඟින් ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 600 වැනි ටෙස්ට් තරගයට මුහුණ දී තිබේ. ඒ අනුව එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට පසුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙම සන්ධිස්ථානය පසුකළ තෙවැනි කණ්ඩායම බවට ඉන්දියාව පත්ව ඇත.
ලොව 6 වැනි පැරණිම ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියාව, 1932 ජුනි මාසයේදී ලෝඩ්ස් හිදී එංගලන්තයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අතර, ටෙස්ට් වරම් ලබා පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට වසර 20ක් ගතවිය. 1952 පෙබරවාරි 10 වැනිදා විජේ හසාරේගේ නායකත්වයෙන් චෙන්නායි හිදී එංගලන්තය ඉනිමකින් සහ ලකුණු 8කින් පරාජය කරමින් ඔවුන් එම ඓතිහාසික ජය වාර්තා කළහ.
20 වැනි සියවස අගභාගය වන තෙක්ම ටෙස්ට් පිටියේ පහළ මට්ටමක පසුවූවත්, 21 වැනි සියවස උදාවීමත් සමඟ ඉන්දීය කණ්ඩායම විශාල පිබිදීමක් ඇති කරගත්තේය. විශේෂයෙන්ම විරාත් කෝලිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ තරග 68න් 40ක්ම ජයග්‍රහණය කරමින් ඔවුන් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම කාලපරිච්ඡේදය පසු කළේය. ඉන්දියාවේ 80 වැනි නිදහස සැමරුම යෙදුණු දිනට යෙදී තිබීමද මෙම ඓතිහාසික සන්ධිස්ථානය තවත් විශේෂ කර ඇත.














