මේ දිනවල පවතින උණුසුම් කාලගුණයත් සමඟ මානසික රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි මානසික රෝග විශේෂඥවරු පෙන්වා දෙති. තවද උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ විෂාදය සහ කාංසාව වැනි රෝග ලක්ෂණ ද වාර්තා වන බව වෛද්‍යවරු සඳහන් කරති.
දිගින් දිගටම අධික උණුසුමට නිරාවරණය වීමෙන් වැඩිපුර කේන්තියාම සිදුවන බව මානසික සෞඛ්‍යය පිළිබඳ කරන ලද පර්යේෂණවලින් තහවුරු වී තිබේ. මාර්ගවල රථවාහන පැදවීමේදී සහ පදිකයන් ලෙස ගමන් කිරීමේදී ඇතිවන විවිධ ගැටුම්වලදී අධික ලෙස කේන්ති යාම මෙන්ම, රථවාහන අනතුරකදී තිරිංග තද කිරීමට ගතවන කාලය සාමාන්‍ය අවස්ථාවකට සාපේක්ෂව මෙම උණුසුම් කාලයේදී වෙනස් විය හැකි බව ද පර්යේෂණාත්මක දත්ත මඟින් අනාවරණය වී ඇත.
එපමණක් නොව, උණුසුමට දරුවන් නිරාවරණය වීමෙන් අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු කිරීමට නොහැකි වීම සහ මතක ශක්තිය අඩුවීම සිදුවිය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. තවද, අධික උණුසුම පවුල් ආරවුල් වැඩිවීම මෙන්ම ගෘහස්ථ හිංසනය ඇතිවීම දක්වා ද බලපෑම් ඇති කළ හැකි බව මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු වැඩිදුරටත් අවධාරණය කරති.
















