ගල් අඟුරු නැව් 30ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ වංචාවකට ජනාධිපතිවරයා සම්බන්ධ බවට තමන් සතුව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇති බව ද හෙතම අනාවරණය කළේය.
පළමු පැමිණිල්ල ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එරෙහිව කරුණු දක්වා ඇති අතර, කොමිෂන් සභාව පත් කර ඇත්තේ “තමන්ගේ අය නිදහස් කර ගැනීමට සහ පැරණි අයට දඬුවම් දීමට” බවට ඔහු කළ ප්‍රකාශය මඟින් කොමිසමේ ස්වාධීනත්වයට හානි වන බව රණවක මහතා පෙන්වා දී තිබේ. දෙවන පැමිණිල්ල ලෙස ගල් අඟුරු නැව් 30ක් වංචනික ලෙස ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් රටට සහ ආර්ථිකයට සිදු වූ දැවැන්ත පාඩුව මෙන්ම විදුලි කප්පාදුවට බලපෑ හේතු පිළිබඳව විද්‍යාත්මක සහ අනෙකුත් සාක්ෂි කොමිසම හමුවේ තබා ඇති බව ඔහු සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් පොලිසියට ද ප්‍රකාශයක් ලබා දී ඇති බවත්, කොමිෂන් සභාවේ මාස හයක කාලය අවසන් වූ පසු නිකුත් වන වාර්තාවෙන් අනතුරුව තමන් සතු සියලු සාක්ෂි සහ ලේඛන ජනගත කිරීමට සූදානම් බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
















