තිරසාර වෙළඳපොළක් ගොඩනැඟීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික පරිසර හිතකාමී ලේබල්කරණ රාමුව (NELF) දියුණු කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් 50 කට අධික පිරිසක් කොළඹදී හමුවී තිබේ.
යුරෝපා සංගමයේ අරමුදල් මත ක්‍රියාත්මක වන හරිත ප්‍රතිසාධන පහසුකම (Green Recovery Facility) සහ පරිසර අමාත්‍යාංශයේ සහයෝගයෙන් “ජාතික පරිසර ලේබලය ශ්‍රී ලංකාව: රාමුව ශක්තිමත් කිරීම සහ එකඟතාවය” යන තේමාව යටතේ මෙම විශේෂ වැඩමුළුව සංවිධානය කර ඇත. හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ වෙළඳපොළ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමට මෙමඟින් අපේක්ෂා කෙරේ.
ගෝලීය වෙළඳපොළ තුළ තරගකාරීත්වයක් ඇති කර ගැනීමට මෙමඟින් ලැබෙන පිටුවහල පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ මහතා සඳහන් කළේ, තිරසාර නිෂ්පාදන ශක්තිමත් කිරීමට සහ පාරිභෝගික විශ්වාසය ඉහළ නැංවීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල හරිත ලේබල්කරණ ක්‍රමවේද අත්‍යවශ්‍ය වන බවයි.
ජාතික මට්ටමින් මෙම ක්‍රමවේදය පුළුල් කිරීම හරහා පාරිභෝගිකයින්ට නිවැරදි තේරීම් සිදු කිරීමටත්, ව්‍යාපාරිකයින්ට හරිත නිෂ්පාදන ක්‍රම අනුගමනය කිරීමටත්, හරිත සෝදාහැරීමේ (Greenwashing) අවදානම අවම කර ගැනීමටත් හැකි වන බව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.














