පසුගිය අගෝස්තු 05 වන දින පැවැති පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳ කෝප් සමාලෝචන රැස්වීමේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා මතු කළ ගැටලුවකට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නීත්‍යානුකූල පිළිතුරු ලැබී තිබෙන බව වාර්තා වේ.
එම සාකච්ඡාවේදී උපකුලපතිවරයා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා නාවික හමුදාවේ අධිකාරියෙන් ඉවත් කළ පුද්ගලයෙකු බවට තොරතුරු හෙළිදරව් වී ඇති බැවින්, රාජ්‍ය සේවයට ඔහුව බඳවා ගැනීම නීත්‍යානුකූලද යන්න පිළිබඳව සැක මතුවී ඇති බවයි.
එම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීති සේවා අධ්‍යක්ෂ කොමදෝරු ඒ. අයි. කරුණාරත්න මහතා විසින් 2026-08-12 දිනැතිව ලිපියක් නිකුත් කරමින් නෛතික තත්ත්වය පැහැදිලි කර ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කළ විමසීමකට පිළිතුරු දෙමින් මෙම ලිපිය නිකුත් කර තිබේ.
අදාළ ලිපියේ දැක්වෙන පරිදි, ශ්‍රී ලංකා නාවික හමුදා පනතේ 121(ආ) වගන්තිය ප්‍රකාරව යම් නාවික පුද්ගලයෙකු අපකීර්තිමත් ලෙස නාවික හමුදාවෙන් පහකිරීමේ දණ්ඩනයට ලක්වුවහොත් පමණක් ඔහුට නැවත ත්‍රිවිධ හමුදාවේ හෝ රජයේ වෙනත් නිලයක් දැරීමට නොහැකි වේ. එහෙත් අධිකාරියෙන් ඉවත් කිරීම ඊට බාධාවක් නොවන බව එහි පැහැදිලිව දක්වා ඇත.
ස්වේච්ඡා නාවික හමුදා අධිකාරියෙන් ඉවත් කිරීම රජයේ වෙනත් රැකියාවක් කිරීමට කිසිදු බාධාවක් නොවන බවත්, ඒ අනුව එල්ල වූ චෝදනා සහ මතයන් නීතිමය වශයෙන් පදනම් විරහිත බවත් නාවික හමුදා නීති අධ්‍යක්ෂවරයාගේ ලිපියෙන් තහවුරු වී ඇති බව වාර්තා වේ.














