නාගරික මහල් නිවාස සංකීර්ණවල පදිංචි දරුවන් සහකම්පනයෙන් යුතු සුබවාදී ආකල්පවලින් පිරිපුන් දරු පරපුරක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් ‘සාම ළමා සමාජ’ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වූ කාර්යාලය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම සමාරම්භක වැඩසටහන අද (17) කොළඹ 15, මෝදර, හේනමුල්ල ‘මිහිජය සෙවණ’ නිවාස සංකීර්ණය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරිණි. 2026 වසර තුළ කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ පහක් (මිහිජය සෙවණ, රන්දිය උයන, මුවදොර උයන, සිරිමුතු උයන සහ ලක්සඳ සෙවණ) ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීම මෙන්ම පාසල් නොයන දරුවන් සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබාදීමද අපේක්ෂා කෙරේ.














