හෙට (18) ආරම්භ වන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබේ.
පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ රථවාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති රථගාල් පිළිබඳ තොරතුරු, පෙරහැර ගමන් ගන්නා මාර්ගය සහ නැරඹිය හැකි සුදුසු ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන, අතරමං වූවන් හමුවිය හැකි ස්ථාන මෙන්ම මාර්ග බාධක සහ ආරක්ෂක රාජකාරි පිළිබඳ තොරතුරු සජීවීව ලබාගත හැකි වන පරිදි මෙම වැඩපිළිවෙළ සකසා ඇත.
මෙම සේවාව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස “මහනුවර ඇසළ පෙරහර” යන සබැඳිය තේරීමෙන් හෝ සෘජුවම [https://kandyesalaperahera.police.lk](https://kandyesalaperahera.police.lk) යන වෙබ් අඩවියට පිවිසීමෙන් ජංගම දුරකථන, ටැබ් යන්ත්‍ර හෝ පරිගණක ඔස්සේ මෙම තොරතුරු ලබාගත හැක. පෙරහැර සමයේදී මහජනතාවට අනවශ්‍ය අපහසුතාවලින් තොරව, සැබෑ කාලීන තොරතුරු හරහා ඉක්මන් හා පහසු සේවාවක් ලබා ගැනීමෙන් කාලය ඉතිරි කර ගැනීමට සහ ආරක්ෂාව තහවුරු කර ගැනීමට මෙම පද්ධතිය භාවිත කරන මෙන් පොලීසිය ඉල්ලා සිටියි.














