22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ පද්ධති (සංශෝධන) පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පනත් කෙටුම්පතක් ගසට් පත්‍රයේ පළ කර සතියකට පසු ප්‍රථම කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, ඉන් අනතුරුව එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා සතියක කාලයක් හිමිවේ. පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය දින 3ත් 21ත් අතර කාලය තුළ කථානායකවරයා වෙත දැනුම් දිය යුතුය.
මෙම සංශෝධන සම්මත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යනු ඇත. එසේම මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. කෙසේ වෙතත්, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මෙම පනත් කෙටුම්පත් ප්‍රථම කියවීම සඳහා ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට විරෝධය පළ කිරීමට තීරණය කර ඇත.














