ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අරඹමින් පළමු කුඹල් පෙරහැර අද (18) රාත්‍රීයේ වීදී සංචාරය කිරීමට නියමිතය. අද දින සිට අගෝස්තු 22 වැනි දින දක්වා කුඹල් පෙරහැර වීථී සංචාරය වන අතර, 23 වැනි දින සිට 27 වැනි දින දක්වා රන්දෝලි පෙරහැර වීථී සංචාරය කෙරෙනු ඇත.
පළමු කුඹල් පෙරහැර අද පස්වරු 06:52ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී, දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතව ඇති අතර, පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණෙමින් සිටිති.
පෙරහැර කාල සීමාව තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 6,200ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 564 දෙනෙකු යොදවා ඇත.
පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් **081 22 33 333** යන හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී ඇති අතර, පෙරහැරට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා **www.police.lk** නිල වෙබ් අඩවියට පිවිස “මහනුවර ඇසළ පෙරහර” යන සබැඳිය හරහා විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියට පිවිසිය හැකිය.














