ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ නිලධාරීන් සමඟ යෝජිත අපේක්ෂිත ක්‍රියාමාර්ග, හදිසි සූදානම සහ ප්‍රතිචාර ව්‍යාපෘතිය (Anticipatory Action, Emergency Preparedness and Response Project) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 17) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අමෙරිකානු රජයේ ආධාර යටතේ ලෝක ආහාර වැඩසටහන මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ හදිසි ආපදා සූදානම, ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්යක්ෂ පිලිප් වෝඩ් (Philip Ward), නියෝජ්‍ය අධ්යක්ෂ රොබට් ඔලිවර් (Robert Oliver) යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආපදා කළමනාකරණ අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.














